3.10.2012

පාප්තුමා 1

අද ඉටුකරන්න යන්නෙ හසිත කරපු ඉල්ලීමක්. මේ ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. 2005හේදි දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ස්වර්ගස්ථ වෙච්ච වෙලාවෙ මේ ගැන ලිපි සෑහෙන ප්‍රමාණයක් පුවත්පත්වල පළ වුණා. ඒක නිසා ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත්. ඒත් අන්තර්ජාල වෙබ් අවකාශයේ සිංහලෙන් ලියවුණු ලිපියක් නම් හොයාගන්න ලැබුනේ නෑ. මේ යන්නෙ ඒ අඩුව පුරවන්න.

පාප්තුමා(Pope) එහෙමත් නැත්නම් පාප් වහන්සේ කියන්නෙ කවුද කියන එක ගොඩක් අය දන්නවා. බොහොම සරලව කියනවානම් පාප් වහන්සේ තමයි ලෝකෙ පුරාම පැතිරුනු රෝමානු කතෝලික සභාවෙ නායකයා හැටියට කටයුතු කරන්නෙ.  ඊට අමතරව රෝමයේ අගරදගුරු තුමා හැටියටත් එතුමා කටයුතු කරනවා. 

පාප්ධූරය ආරම්භ වුනේ කොහොමද?  ජේසුස් වහන්සේගේ ගෝළයින්ගේ නායකයා වුනේ පේදුරුතුමා.(Saint Peter) ජේසුස් වහන්සේගේ මරණයෙන් පස්සෙ ජේසුස් වහන්සේගේ ධර්මය ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරෙන්නෙ එතුමාට. පාප් කියන නිල නාමය නොදැරුවත් පළමුවන පාප්තුමා විදිහට හැඳින්වෙන්නෙ පේදුරුතුමා. පාප් එහෙම නැත්නම් 'pope' කියන ග්‍රීක වචනය පාවිච්චිවෙන්න පටන් ගන්නෙ ක්‍රි.ව. 2වැනි සියවසේ විතර. ඒ වචනෙ තේරුම තමයි 'තාත්තා' එහෙම නැත්නම් 'පියා' කියන එක. ඊශ්‍රායලයෙ ජීවත්වුන ජේසුස් වහන්සේගේ කතෝලික ධර්මයේ මූලස්ථානය යුරෝපයේ රෝමය බවට පත්වෙන්නෙත් පේදුරුතුමා නිසාමයි.

ජේසුස් වහන්සේගේ මරණෙන් පස්සෙ උන් වහන්සේගේ ධර්මය අන් අයට කියා දීමේ වගකීම ගන්නේ ගෝළයෝ එකොළොස් දෙනා ප්‍රමුඛ ඒ වනවිට ජේසුස් වහන්සේව විශ්වාස කළ ජනතාව. ඒ ජනතාවට විශේෂ වරප්‍රසාදක් ලැබීම නිසා අන්‍ය බාසාවලින් කතා කරන්න පුලුවන් වුනාලු. බයිබලයේ දැක්වෙන විදිහට ඔවුන් තමුන්ගේ බාසාවෙන්ම කථාකළත් අහන් ඉන්න අයට ඒ ඒ අයගේ බාසාවෙන් කියන දේවල් හැටියටලු ඇහුනෙ. ඉතින් මේ විදිහට දේව වරමක් ලැබිච්ච ජනතාව ලෝකෙ පුරා යනවා කතෝලික ධර්මය ප්‍රචාරය කරන්න. පේදුරුතුමා තෝරගන්නෙ රෝමය.

පේදුරුතුමාගේ මරණය
රෝමයට ආපු පේදුරුතුමාගේ උගැන්වීම් පිළිගන්න රෝමවැසියො කතෝලික ධර්මය වැලඳගන්නවා. මේක ඉහුලන්නෙම නැතුව යන්නෙ තමුන්ට දේවත්වය ආරෝපණය කරගැනීමේ උවමනාවෙන් පෙලුණු රෝම අධිරාජ්‍යයන්ට. කතෝලික ආගම වැළඳගත්තු රෝමවරු තමුන්ට දේවත්වයෙන් නොසළකා වෙන දෙවියෙකු පසුපසයාම නොඉවසන අධිරාජ්‍යයා කතෝලිකයන් මරාදමන්න නියෝග කරනවා. බොහෝ කතෝලිකයන්ට මරණ දඬුවම හිමිවන අතර පේදුරුතුමාවත් රෝම සොල්දාදුවන්ට අහුවෙනවා. කුරුසය කරපින්නාගෙන ඉන්න කතෝලිකයන්ව ජේසුස් වහන්සේ මෙන් කුරුසයේ ඇණගැසීමෙන්ම මරණයට පත් කරන්න තමා නීරෝ අධිරාජ්‍යයා නියෝග කරන්නෙ. නමුත් පේදුරු තුමා එහෙම මැරෙන්න කැමති වෙන්නෙ නෑ. ජේසුස් වහන්සේ තරම් තමා නොවටින බව කියන පේදුරුතුමාව කුරුසියේ ඇණගහලා තියෙන්නෙ ඔලුවෙන් අතට. ඔය විදිහට තාඩන පීඩන ආවත් කතෝලික සභාව බිඳවැටෙන්නෙ නෑ. මියගිය අය වෙනුවට අනුප්‍රාප්තිකයන් පත්වෙමින් දිගින් දිගටම ඉදිරියට එනවා.

දන් අපි බලමු නව පාප්තුමෙකු පත්වීමේ ක්‍රියාවලිය(Papal conclave). වසර 2000ක ශු. සභා ඉතිහාසය තුළ විවිධ ක්‍රම භාවිතා වුනත් මම විස්තර කරන්නේ දැනට පවතින ක්‍රමය. සමහර කුඩා කරුණු පවා වැදගත් ලෙස සැළකූ නිසා ලිපිය දිගු වෙන්න වගේම නීරස වෙන්නත් පුලුවන්. නමුත් රසයට වඩා කරුණු දැනගැනීමේ පිපාසයෙන් පෙළෙන අය සඳහා විස්තර සහිතවම ලියන්න තීරණය කළා. ඉවසීමෙන් කියවන ලෙස ඉල්ලා සිටින්න කැමතියි.

නව පාප්ධූරයක් පුරප්පාඩු වෙන්නේ පාප්තුමෙකුගෙ ස්වර්ගස්ථ වීමෙන්. අති විශේෂ කරුණකදී පාප්තුමෙකුගෙ ඉල්ලා අස්වීමක් සිදුවිය හැකි වුවද මේ දක්වා කීප වාරයක් සිදුවී ඇති  අති දුර්ලභ සිද්ධියක් නිසා එය අමතක කර දමන්න පුලුවන්. සාමාන්‍යයෙන් පාප්තුමෙකු පත්වූ පසු මිය යන තුරුම තම ධූරයේ රාජකාරි කරනවා. පාප්තුමා මිය ගිය මොහොතේ පටන් නව පාප්තුමෙකු පත්වීම දක්වා සියලු කටයුතු සිදුවෙන්නෙ කාදිනල්වරුන් අතින්. කදිනල්වරු ගැන වැඩි විස්තර ක්ලෙමන්ට් මහතාගේ කතෝලික සභාවේ කාර්ඩිනල්වරු ලිපියෙනුත් හසිත සහෝදරයාගේ කාඩිනල්වරයෙක්වුනු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ  ලිපියෙනුත් ලබාගන්න පුලුවන් වෙයි. 

මුද්‍රාවක් ලෙස මුදුව පාවිච්චි කළ හැක
නව පාප්තුමෙකු පත්වීමේ කාර්‍යය ඇරඹෙන්නේ වර්තමාන පාප්තුමාගේ ස්වර්ගස්ථ වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්වූ පසුවයි.  ඒ බව ප්‍රකාශ කිරීමේ බලය තියෙන්නෙ Camerlengo ( Camerlengo of the Holy Roman Church ) නම් නිලය දරණ කාදිනල් තුමන්ට. අතීතයේදී නම් පොඩි රිදී මිටියකින් මියගිය පාප්තුමාගේ හිසට තුන්වරක් තට්ටු කොට එතුමන්ගේ නියම නම (පාප්ධූරයේ නම නෙමෙයි) කියා කතා කිරීමෙන් තමයි පාප්තුමා ස්වර්ගස්ථ වී ඇතිබව තහවුරු කරගන්නෙ. වර්තමානයේ නම් තට්ටුකිරීම සිදුවන්නේ නෑ. ස්වර්සස්ථ වීමෙන් පසු පාප්තුමාගේ මුද්‍රාව වන ධීවරයින්ගේ මුද්ද ( Ring of the Fisherman ) එතුමන්ගේ භාරයට පත්වන අතර පසුව කාදිනල්වරුන් ඉදිරිපිට විනාශ කරනු ලබනවා. නව පාප්තුමෙකුට ලැබෙන්නෙ නව මුදුවක්. මේ සිරිත ඇතිවී තිබෙන්නෙ ව්‍යාජ ලිපි ලේඛන ඇතිවීම වලක්වන්න. නමුත් තවමත් පාප්තුමෙකුගේ අභාවයේදී මෙලෙස සිදුවෙනවා. 
වත්මන් පාප්තුමා මුදුව පළඳාගෙන සිටින අයුරු

මුද්‍රා තැබූ ලියවිල්ලක්













ඉන්පසු ඉන්පසු සිදුවන්නේ ලෝකයපුරා විසිරී සිටින කාදිනල්වරුන්ට( College of Cardinals) වතිකානුවට පැමිණීමට කෙරෙන ආඥාවයි.  සියලුම කාදිනල්වරුන් මේ අවස්ථාවට සහභාගී වීමට බැඳී සිටින අතර තදබල අසනීපයකින් පෙළේනම් හෝ වයස 80ට වැඩි නම් සහනයක් ලබාගත හැකියි. නව පාප්තුමෙකු පත්වනතුරු  කතෝලික සභාවෙ එදිනෙදා පාලන කටයුතු කෙරෙන්නෙ Camerlengo කාදිනල්තුමාගෙ ප්‍රධානත්වයෙන්. එතුමාට සහය වීමට රදගුරු කාදිනල් තුමෙක්, පූජක කාදිනල්තුමෙක් හා තේවාචාරී කාදිනල් තුමෙක් පත් කෙරෙනවා. සෑම දින තුනක වරක්ම අලුත් තිදෙනෙක් පත්වෙනවා.

මේ අතර පාප්තුමාගේ භූමදාන කටයුතු සඳහා දින නියම කෙරෙනවා. මියගිය පාප්තුමා වෙනුවෙන් දින නමයක ශෝක කාලයක් පැනවීම සිරිතක් ඒ වගේම නව පාප්තුමෙකු තෝරාගැනීමට දින නියම වෙනවා. පාප්තුමෙකු ස්වර්ගස්ථ වී දින 15කින් මේ කාර්‍යය ඇරඹිය යුතු වුවත් දුර බැහැර සිට පැමිණෙන කාදිනල් වරුන් වෙනුවෙන් උපරිම වශයෙන් දින විස්සක් පමා කරන්න පුලුවන්.

සිස්ටයින් දේවස්ථානය (දුම් කවුළුවක් පේනවද බලන්න)
සම්ප්‍රදායක් විදිහට නව පාප්තුමෙකු පත්වීමේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ සිස්ටයින් දේවස්ථානයේ(Sistine Chapel ). ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර කාදිනල්වරුන්ට සිදුවෙනවා දේශන දෙකකට සවන් දෙන්න. මේ දේශන පවත්වන්නෙ සභාව තුළ සිටිනා දැනෞගත් පුද්ගලයින් විසින්. මෙහිදී කතෝලික සභාවේ වර්තමාන තත්වය මෙන්ම කාලයට ඔබින පරිදි අවශ්‍යය කුමන ආකාරයේ අදහස් දරණ පාප්තුමෙක්දැයි පැහැදිලි කිරීමක් සිදුවෙනවා. 

නියම කරගත් දින උදෑසන දිව්‍ය සත්ප්‍රසාද ලබාගන්න කාදිනල්වරු සවස් කාලයේ Pauline දේවස්ථානය (Pauline Chapel)වෙත රැස්වෙනවා.  ඉන්පසු පාගමනින් සිස්ටයින් දේවස්ථානය වෙත පැමිණ නිලවරණයේ රහස්‍යභාවය සුරැකීමට දිවුරුම් දීම තමයි එතුමන්ලා සාමාන්‍ය ජනතාව මුනගැසෙන අවසාන අවස්ථාව. ඉන්පසු කාදිනල්වරුන් හැර සියලුම දෙනා දේවස්ථානයෙන් පිටවී යායුතු අතර සිස්ටයින් දේවස්ථානයේ දොරවල් වසා දමනවා. නව පාප්තුමෙකු පත්වෙන තුරු කාදිනල්වරුන්ට පිටස්තර අයවලුන් හා සබඳතා පැවැත්වීම සපුරා තහනම්. සන්නිවේදන උපකරණ භාවිතයත් තහනම්. නිලවරණ සමයේදී දේවස්ථානයේ සේවයටත් ආහාරපාන පිළියෙල කිරීමටත් අති විශ්වාසවන්ත සේවකයන් යොදාගන්නවා. ඔවුනුත් යොදාගත හැකි අවම මට්ටමෙන් යොදාගන්නෙ. මේ විදිහට නිලවරණයේ රහස්‍යභාවය උපරිමෙන් රකිනවා. 

 නිලවරණය පැවැත්වෙන ආකාරය ඊළඟ ලිපියෙන් බලමු.

43 comments:

  1. හරී..
    ස්තුතියි පාප්වහන්සේතුමා ධූරයට පත්වන හැටි කියලා දුන්නාට. එවැන් පත්කිරීමක් සෑහෙන ලොකු වැඩක්වගේ.

    මම ජුවාන් පාවුලු පාප්වහන්සේ ලංකාවෙට වැඩම කල වෙලාවෙ ඒ දවස්වල නම් ර
    ුපවාහානියෙන් ඇහැ අහකට ගත්තෙ නෑ. උන්වහන්සේ ලංකාවට වැඩම කලා කිව්වාම මටනම් අදටත් හරිම සතුටුයි. මම බෞද්ධයෙක් හැටියට මේ ලිපි පෙළ මට හරිම වැදගත්.

    කොහොම වුණත් අපි අතරේ ආගමික කරුණු බෙදා හැර නොදන්න දේ කියලා දෙනවට ඔබට බුදු සරණයි.ඒවගේම ජේසු පිහිටයි.

    ReplyDelete
    Replies
    1. කථාවෙ තව කොටහක් තියෙනවා..
      "හෙන ලොකු වැඩක්වගේ." ඔව් ලෝකෙ පුරා ව්‍යාප්ත වෙච්ච කතෝලික සභාවෙ නායකයානෙ තෝරන්නෙ ඒක නිසා බොහොම පරිස්සමෙන් තමයි වැඩේ සිද්ධවෙන්නෙ..ක්‍රියාවලියෙ හැම දෙයක්ම නීතිගත වෙලා තියෙන්නෙ..ඊළඟ ලිපිය කියෙව්වම වඩාත් හොඳින් පැහැදිලි වෙයි..

      මටත් ඒ ගැන නම් හරිම මිහිරි මතකයක් තියෙන්නෙ..මම එතකොට පොඩි එකෙක්..උන් වහන්සේ ලංකාවට ආවෙ ජුසේවාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන්නනෙ..ඒ කාලෙ එතුමාගෙ රූපය තියෙන බැජ් එකක් ගන්න ඉස්කෝලෙ යද්දි අම්මා දෙන සල්ලි එකතුකළා මතකයි..අපි කොඩිත් අරන් පාරට ගියාත් මතකයි..ප්‍රධාන පූජාව තියන්න මණ්ඩපේ සැලසුම් කළෙත් විපුලසාර හාමුදුරුවොද කොහෙද මට මතක හැටියට..

      දෙවන ජුව්වම් පාවුලු පාප්තුමත් හරිම ජනප්‍රිය විප්ලවීය චරිතයක්..එතුමා වෙන පාප් වහන්සේලා නොකරපු ගොඩක් දේවල් කළා...

      ඔබටත් තෙරුවන් සරණයි..

      Delete
  2. මම දහම්පාසලේ උගන්නන නිසා මේ ගැන නම් හොඳටෝම දන්නවා. :)

    ReplyDelete
    Replies
    1. දැන් දහම් පාසල්වලත් මේ ගැන උගන්වනවාද? අපේ කාලෙ නම් ඉගැන්නුවෙ නෑ... මේ ගැන මම මුලින්ම දැනගත්තෙ පත්තරයකින්..

      Delete
  3. ලිපිය දිගයි කිව්වට දිග නැහැ බං.තව ලිව්වා නම් මරු.

    ReplyDelete
    Replies
    1. දිගයි කියලා හිතුන නිසාම ලිපියෙ යට බාගෙ වෙන ලිපියකට දැම්මා..ඒක නිසා කොට වෙලා..

      Delete
  4. ලෝකයේ සමහර රටවල සිටින උන්මත්තකයෝ පාප් වහන්සේ ඝාතනය කරන්නට උත්සාහ කරන්නේ වෙනත් ආගමක පෙළඹවිමකින්ද ? මට මතකයි එවැනි උත්සාහයන් කීපයක් තියනවා අතීතයේදී සිදුවූ.

    ReplyDelete
    Replies
    1. ආගමික ප්‍රශ්න වලට වඩා දේශපාලනික ප්‍රශ්නයි තියෙන්නෙ..නීරෝගේ බලය නැතිවේ යයි සිතා ඝාතනය කළ පේදුරු තුමාගේ සිට පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා දක්වා පාප්තුමන්ලා 25ක් පමණ ඝාතනයට ලක්වී තිබෙනවා..

      පාප්තුමා ලොව කුඩාම රාජ්‍යයවූ වතිකානුවේ රාජ්‍ය නායකයා මෙන්ම මුලු කිතුනු සභාවේත් නායකයා නිසා යම් ප්‍රශ්නයකදී පාප්තුමාට කළහැකි බලපෑම වැඩී..පාප්තුමාගේ අදහස් බහුතරයක් රටවල නායකයෝ පිළිගන්නවා..මේ නිසා තමයි පාප්තුමා ඝාතනයට තැත් කරන්නේ.. ඒවගේම තමා කඩුවෙන් බැරිතැන ආගම් ප්‍රචාරය මඟින් පාප්තුමාගේ බලය අඩු කරන්න බලන්නෙ..

      ඝාතන සිද්ධි වල මෑතකදීම සිදුවුනෙ 2වන ජුවාම් පාවුළු පාප්තුමාගේ ඝාතන උත්සහය..

      Delete
  5. පාප්තුමා ගැනත් නව පාප්වහන්සේ කෙනෙකු පත්කරගන්නා ආකාරය ගැනත් මම මුලින්ම විස්තරාත්මකව දැනගත්තේ ඩෑන් බ්‍රවුන් ලියපු 'ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස්' පොතෙන්... පස්සේ තියෙන කුතුහලය නිසාම අන්තර්ජාලයෙන් ගොඩක් කරුණු කියවා දැනගත්තා.

    මම දැනගත් විදියට ඔය Camerlengo කියන්නේ පාප්තුමාගේ පෞද්ගලික සහකාර තනතුර නේද? ඒ තනතුර දරන්නේ අනිවාර්යෙන්ම කාදිනල්වරයෙක්මද? එහෙමනම් ඒක නීතියක්ද නැත්නම් සම්ප්‍රදායක්ද? (මම කලින් කියපු ප්‍රබන්ධ කතාවට අනුව නම් ඔය තනතුරේ ඉන්නේ තරුණ පියතුමෙක් නිසයි ඇහුවේ...)

    තව ප්‍රශ්නයක් තියේ... බැසිලිකා, කැතිඩ්‍රල්, චර්ච්, චැපල්, ඇබේ යන ඒවායේ වෙනස පැහැදිලි කරන්නේ කොහොමද? විශාලත්වයේ වෙනසක්ද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මම පොත කියවලාවත් චිත්‍රපටිය බලලාවත් නෑ...ඕගොල්ලො කිව්වාට පස්සෙ විකිය පොඩ්ඩක් බැලුවා...ඔය පොතේ සිංහල පරිවර්තනයක් නැද්ද? කඩ්ඩ එක හොයාගත්තත් කියවන්න කම්මැලී..

      පෞද්ගලික සහකාරයා නෙමෙයි කතෝලික සභාවට අයත් සියලුම දේපළවල හා අදායම්වල පාලකයා තමයි Camerlengo කියන්නෙ... මේකට අනිවාර්යයෙන් පත්වෙන්න ඕන කාදිනල් කෙනෙක්.. 15වෙනි ශතවර්ශයෙන් පස්සෙ තමයි ඒ නීතිය ඇතිවෙලා තියෙන්නෙ..
      පියතුමන්ලටත් කාදිනල් ධූරය දරන්න පුලුවන්..

      හැබැයි පොතේ නම් මොකක් හෝ වෙනසක් ඇති.. විකිපීඩියාව මෙහෙම කියනවා "The Camerlengo was a major character in the novel Angels and Demons by Dan Brown. He also appeared in the film of the same name, in which the character was played by Scottish actor Ewan McGregor. The character, however, was only a priest, not a cardinal due to conditions described in the novel."

      මේ කියන විදිහට පොතේදී කාදිනල්වරයෙක් නෙමෙයි ඉඳලා තියෙන්නෙ...නිකම්ම පියතුමෙක්..

      පැහැදිලිවම විශාලත්වයේ වෙනස්කම් තිබුනත් නම් ලැබෙන්න හේතුව ඒක නෙමෙයි.. ඒ ඒ නම් ලැබීමට ඒ ඒ දේවස්ථාන සතුව යම යම් කාරණා තියෙන්න ඕනා.. ඔය නමට අනුව සමහර නිලයන්ට පහළ පැවිදි අයට සමහර දේවස්ථානවල දිව්‍ය පූජාව පැවැත්වීමට නොහැකියි..

      උදාහරණයකින් කියනවානම් යම් දෙව්මැඳුරක් ආසන දෙව්මැඳුරක්(Cathedral) ලෙස හැඳින්වීමට නම් රදගුරුතුමාට වෙන්වෙච්ච පුටුවක් ඒ දේවස්ථානයේ තියෙන්න ඕනෙ..ඔය වගේ එක එක එව්වා තියනවා...පෝස්ට් එකකට හොඳ මාතෘකාවක් වගේ..

      Delete
    2. ඔව්, විකිපිඩියා එක හරි... පොතේ තියෙන්නෙ එහෙම තමා. ඒක ඉතිං ප්‍රබන්ධ කතාවක්නෙ! ඒ කථා වස්තුවෙ කූටාප්‍රාප්තියෙදි ඔය හැමදේටම හේතු පැහැදිලි වෙනවා. මොනවා උනත් කියවන්න වටින පොතක් කියල මම හිතන්නෙ. හැබැයි පරිවර්තනයක් නම් නෑ මම දන්න තරමින්...

      දේවස්ථාන වල හැඳින්වීම් ගැන අහපු ප්‍රශ්නෙ අළුත් පෝස්ට් එකකට හේතුවෙයි කියල හිතුවෙ නෑ :) බොහොම සතු‍ටුයි එහෙම වෙච්ච එක! අනිවාර්යෙන් ලියන්න, මොකද ඕක මං ගොඩක් අයගෙන් අහල උත්තර නොලැබුන ප්‍රශනයක්.

      Delete
    3. Basilica, Cathedral ගැන තියෙන ඉංග්‍රීසි ලිපියක ලින්ක් එක මෙන්න
      http://www.catholiceducation.org/articles/facts/fm0109.htm

      Delete
  6. විශිෂ්ඨයි... මටත් හමදාම කුතුහලයක් තිබුන සන්සිද්ධියක් තමයි ඕක.. වැඩේ උපරිමෙන්ම විස්තර කරයි කියලා බලාපොරොත්තු වෙනවා...

    // ඊට අමතරව රෝමයේ අගරදගුරු තුමා හැටියටත් එතුමා කටයුතු කරනවා. //

    මේ ගැනනම් මම ඇහුවමයි. තව ටිකක් පැහැදිලි කලානම් හොඳයි පාප්තුමා කොහොමද ඊට පහල තියන තනතුරක කටයුතු හොබවන්නේ කියලා. රෝමයට ඇයි විශේෂත්වයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! උපරිමයෙන් කියලා දෙන්න බලන්නම්...

      ප්‍රශ්නයට උත්තරය දෙනවානම්..කතෝලික සභාව කියන්නෙ එකට බැඳී ඇති රදගුරු පදවි සමූහයක එකතුවක්..ඉතින් ඔය විදිහට රෝමය කියන පදවියත් බැඳිලා තියෙනවා..සාමාන්‍යයෙන් පදවියක් හසුරවන්නෙ රදගුරුතුමා..ඉතින් ඒ විදිහටම පාප්තුමාත් තම පදවිය හසුරවනවා..

      මෙහෙම හිතුවොත් ජනාධිපතිත් තමුන්ගෙ තානාන්තරේ ඉන්න ගමන් ඇමතිකමුත් දරනවා නේද?

      Delete
  7. බොරු කියන්න ඕන නෑනේ. මම් මේ ගොඩක් දේවල් දැනගත්තේ අදමයි. අර මුද්ද ගැන එහෙම මම් දැනගෙන උන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. රදගුරුතුමාගෙන් ඉහළ සෑම කෙනෙකුටම ඔය විදිහේ මුද්දක් ලැබෙනවා.. එතුමන්ලාගේ මුද්ද සිඹීම එතුමන්ලාට කරන ගෞරවයක් විදිහටයි සළකන්නෙ..දැනටත් පල්ලියකට රදගුරුතුමෙක් ආවාම සෙනඟ එනවා මුද්ද ඉඹින්න..

      මම හිතුවා ඔයා දන්න්වා ඇති කියලා..

      Delete
  8. ස්තුතියි ඉල්ලීම ඉටුකළාට :) හැමදාම වගේ ප්‍රශ්න ටිකකුත් තියෙනවා අහන්න

    "පාප් කියන නිල නාමය නොදැරුවත් පළමුවන පාප්තුමා විදිහට හැඳින්වෙන්නෙ පේදුරුතුමා"

    තමන්ගේ සභාව මිහිමත ගොඩනගද්දී ඒ උසුලාගෙන සිටින පර්වතය වන්නේ ඔබයි වගේ කතාවක් ජේසුතුමා කිව්වේ පේදුරුතුමාට නේද ?

    ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් චිත්‍රපටියේ පෙන්වන විදිහට ශාන්ත පීතර බැසිලිකාවේ බිම් මහලක පේදුරුතුමාගේ දේහය තැන්පත් කරලා තියෙනවාද ?

    "අති විශේෂ කරුණකදී පාප්තුමෙකුගෙ ඉල්ලා අස්වීමක් සිදුවිය හැකි වුවද මේ දක්වා කීප වාරයක් සිදුවී ඇති අති දුර්ලභ සිද්ධියක් "

    මේ විදිහට ඉල්ලා අස්වුණු පාප් වහන් වහන්සේ කෙනෙක් සිටියා කියලා අහලා තිබෙනවා. ඒ කතාව අහන්න කැමතියි.

    කොහොම නමුත් අර චිත්‍රපටියේ කතාව කුමක් වුණත් පාප්තුමා ගැන අවබෝධයක් ගන්න ඒක ඉවහල් වුණා

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න අහනවට මම බොහොම කැමතියි..ඒකෙන් මමත් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්නවා.. මොකද පඬියා වගේ ලිව්වට ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ ඒ ගැන කරුණු හොයලයි උත්තර දෙන්නෙ...

      ඔව් පේදුරු තුමාට තමයි.. එතුමා ජේසුගෙ ගෝළයින් අතර නායකයා..මාලු අල්ල අල්ල ඉඳලා ජේසුතුමා පස්සෙ එන්නෙත්..ජේසුට කකුල් හෝදන්න ඉඩ නොදෙන්නෙ...ජේසව අතඩංගුවට ගද්දි හේවායෙක්ගෙ කන කපන්නේත්...ඊට පස්සෙ ජේසුව අඳුරන්නේ නෑ කියලා කියන්නෙත් ඔය පේදුරුතුමාම තමයි..

      "බිම් මහලක පේදුරුතුමාගේ දේහය තැන්පත් කරලා තියෙනවාද ?"විකිය කියන විදිහට නම් එහෙම තියෙනවලු..

      ඒක කමෙන්ට් එකක් හැටියට ලියන්න බෑ වගේ.. පාප්තුමා 3 ලියන්න වෙයිද???

      Delete
    2. මම යමක් කිව්වොත් වැ‍රැද්දක් නැති වෙයි කියල හිතනවා...

      මගේ දැනීමෙ හැටියට මුල් කාලයේදී පේදුරුතුමාගෙ සිරුර තැන්පත් කල තැන විදියට විශ්වාස කල ස්ථානයේ කුඩාවට ඉදිවුනු දේවස්ථානය වරින් වර විශාල කර නැවත තනලා තියෙනවා. මේ විදියට සිදුවුනු විශාල කිරීම්වල අවසාන ප්‍රතිපලය තමා අද තියෙන ශාන්ත පීතර බැසිලිකාව. කිතුනු විශ්වාසයට අනුව බැසිලිකාවෙ යටමාලයෙ (Basement) අදටත් ඒ ස්ථානය තියෙන නමුත් කාටවත් එතැනට යාමට අවසර නෑ! හරියට බෞද්ධයන්ගේ දන්ත ධාතූන්වහන්සේ වගේ... අපි දකින කරඬුව තුල තිබෙන බව විශ්වාස කලත් ඇහින් දකින්න ලැබිලා නෑනේ!!

      මම දන්න තරමින් ඩෑන් බ්‍රවුන්ගේ පොතේ තියෙන කතාව ප්‍රබන්ධයක් වුනත් ස්ථාන සහ චාරිත්‍ර වාරිත්‍ර ආදිය ඇත්තම ඒවා...

      Delete
    3. වැරැද්දක් නෑ.. මම කැමතියි මම නොදන්න දෙයක් කාගෙන් හෝ ඉගෙන ගන්න..ඉතින් කවුරු වුනත් දන්න දේවල් බෙදාගන්න එක ගොඩක් වටිනවා..

      ස්තුතියි දැනුවත් කිරීම ගැන..ඔය කාරණාව නම් මම දැනගෙන හිටියෙ නෑ...

      පොත කියවන්නම වෙනවා..

      Delete
    4. පේදුරු තුමාව් මිහිදන් කර තිබෙන්නේ හරියටම ශා. පීතර බැසිලිකාවේ ප්‍රධාන අල්තාරය යට. ස්වල්ප දෙනෙකුට පමණයි එම ස්ථානයට යන්න පුළුවන්. මට ඒ අවස්ථාව ලැබුනා මම ඉගෙන ගන්නා දෙව්සත්හල මාර්ගයෙන්

      Delete
    5. විස්තරයට ස්තුතියි!

      ඔබ දෙව්සත්හලක සිසුවෙක්දැයි දැනගන්න කැමතියි..

      Delete
  9. අහන්න ප්‍රශ්නත් නෑ . . කියන්න දේකුත් නෑ . .

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කමෙන්ට් එකක් දීලා ගිය එක වටිනවා..

      Delete
  10. කීප දෙනෙක්ම කිවුවා වගේ Angels & Demons චිත්‍රපටියෙං මාත් ටිකක් ඔය විස්තර බලලා තියනවා. තව දැනගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මාත් හොයන් බලන්න ඕනා..ඊළඟ ලිපියත් කියවන්න සහෝ..

      Delete
  11. හරී පේදුරු පාවුලු දේවස්ථානය විදිහට නම් කිරීමට හේතුව දන්නවද? මම අහලා තියන විදිහට පේදුරුතුමාගෙත් ,පාවුලුතුමාගෙත් ශරීරයන් වෙන් වෙන් වශයෙන් හදුනා ගන්න බැරි උනාලු පසු කාලයේදී,,මම අහලා තියන විදිහ මේ,ඔය දන්නවා නම් මාව දැනුවත් කරන්න මේ ගැන.
    ජුවාම් පාවුලු පාප්තුමාගේ මරනයත්,බෙනඩික් පාප්තුමාගේ සම්ප්‍රාප්තියත් පැය 24 පුරාම දැක ගන්න ලැබුනා රූපවාහිනිය හරහා,,ඒ වගේම මින් මාසෙකට පස්සේ රෝමයට ගිහින් ඒ වෙනසත් මට අත් දකින්න හම්බුනා...

    ReplyDelete
    Replies
    1. මම හොයපු තොරතුරු අනුව පේදුරු තුමාගේ සිරුර ශා. පීතර බැසිලිකාවෙ අල්තාරය යටත් පාවුළු තුමාගෙ සිරුර ශා. පාවුළු බැසිකාවෙත් භූමදාන කරලා තියෙනවා...

      පේදුරු, පාවුළු දෙදෙනාම කතෝලික ධර්මය නිසා මරණයට පත්වුන අය. ඒ දෙදෙනාටම ගෞරව කිරීමක් වශයෙන් ජුනි 29වෙනිදා ශා. පේදුරු හා පාවුළු මංගල්‍යය නමින් මංගල්‍යයක් පැවැත්වීමත් එනමින් දේවස්ථාන නම් කිරීමත් සිදුවෙනවා..

      අපිට නම් ඒ අවස්ථාව ලැබුනෙ නෑ.. කොහොමත් ඇතුලෙ සිද්ධවෙන ක්‍රියාවලිය බලන්න බෑනෙ නේද? දුම් කවුළුව පෙන්නන එකනෙ කරන්නෙ..

      Delete
  12. Replies
    1. යු ආ වල්කම් ඔබා මාමෙ

      Delete
  13. දිගයි කිව්වට දිග නෑ තමයි :)...අලුත් විස්තර ටිකක් දැන ගත්තා...ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දිගයි කිව්වෙ ඊළඟ ලිපියත් එක්ක...

      කට්ටියට මේක බෝරින්ද මන්දා.. ලිපි දෙකම ගොඩක් අය කියවන්නෙ නෑ වගෙයි..

      Delete
  14. අලුත් කරුණු ගොඩක් දැනගත්තා. ස්තුතියි. පාප් තුමා 1 කියල තියනවා දැක්කම සතුටුයි. ඒ කියන්නේ තව දැනුම් සම්භාරයක් මග එනවා.

    ReplyDelete
    Replies
    1. 1 කිව්වම හිතුනෙ පෙරහැරේ කසකාරයා විදිහට වෙන්ටැ.. හොඳයි හොඳයි ඊළඟ ලිපියත් කියවමුකො..

      Delete
  15. පරක්කු වෙලා හරි ඔන්න පළවෙනි එක කියෙව්ව. දැං යන්න ඕනෙ දෙවෙනි එකට.. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෙව්වම ඉතුරු වුණේ එක ප්‍රශ්නයයි... රෝමෙ ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කරා කියන්නෙ මේ රජා ගැනද? විහිළුවට නෙමෙයි ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී මේ නීරෝම තමයි...

      පරක්කුවක් නෑ මල්ලීට වෙලා තියෙන විදිහට කියවන්න...

      Delete
  16. කතෝලික දහම ගැන මන් දන්නේ ටිකයි . පාප් තුමා පත්කර ගැනීම ගැන Angels and Demons ෆිල්ම් එකෙන් තමයි දැක්කේ . හොඳ විස්තරයක් . මන් පහුවෙලා ආවේ. හිමිට කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. "කතෝලික දහම ගැන මන් දන්නේ ටිකයි " එහෙනම් මගේ බ්ලොගිය කියවන්න එන්න. :)

      කතෝලික දහම ගැන නොදන්නා අයට ගොඩක් දේ කියාදෙන්න මම බලාපොරොත්තු වෙනවා.. හැබැයි ආගමට හැරවීමේ චේතනාවෙන් නම් නෙමෙයි... කතෝලික ආගම ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයට යමක් කියාදීමේ අරමුණින්ම පමණයි..

      වෙනි අයියගෙන් Angels and Demons පොත ඉල්ලලා තියෙන්නෙ.. මාත් කියවන්න ඕනෙ.. හිමීට කියවන්නකො අක්කෙ..

      Delete
  17. මාත් අදයි මේ ලිපිය කියෙව්වේ. මාත් අහල තියෙන විදියට දුම් කව්ළුව විතරයි පෙන්නනෙ... මං ඔය පොත නම් කියවලා නෑ. හොයාගන කියවන්න ඕනේ.

    \\බැසිලිකා, කැතිඩ්‍රල්, චර්ච්, චැපල්, ඇබේ යන ඒවායේ වෙනස පැහැදිලි කරන්නේ කොහොමද? විශාලත්වයේ වෙනසක්ද තියෙන්නේ?\\
    …මේක නම් මටත් ප්‍රශ්නයක්.. මටත් මේ වෙන් කිරීම ගැන හරි හැටි තේරුමක් නෑ. කැමති මේ ගැනත් ලියනවා නම්..
    …ස්තූති

    ReplyDelete
    Replies
    1. මෙතන ඉංග්‍රිසි භාෂාවෙන් ලිපියක් තියෙනවා BASILICA, CATHEDRAL ගැන

      http://www.catholiceducation.org/articles/facts/fm0109.htm

      Delete
    2. ලිපිය ලබාදුන්නාට ස්තුතියි!..
      නුදුරු අනාගතයේදීම මේ ගැන ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..
      මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි..

      Delete
    3. මම හිතනවා ඉහත සඳහන් කර ඇති වෙබ් අඩවියේ ලිපි ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි කියලා

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...