4.13.2015

තෝබිත්ගේ කතාව 5 - තෝබියස්ගෙ මංගල්ලෙ

තෝබිත්.. ආයෙත් කාලෙකට පස්සේ. මට නම් හිතෙන්නෙ කට්ටියට මුල ඉඳලම කතාව මතක් කරන්න වෙයි වගේ. කතාව ලියාගෙන ගිය මට කතාව ඉවර නැතිබව අමතක උනානම් කියවපු ඔයාලා ගැන කවර කතාද? හැබැයි එහෙමම කියන එකත් නරකයි. සමහර පාඨකයො මග තොටේ හම්බුනාමත් මේ කතාව ඉවර කරන්නේ නැද්ද කියලා ඇහුවා. ඔන්න ඒ අය ඔක්කොමත් මතක් කරගෙන කතාවෙ පොඩි සාරාංශයක් කියන්නම්. කතාව මුල ඉඳලා කියවන කෙනෙකුට බාධාවක් නොවෙන්න කෙටිම කෙටි සාරාංශයක් තමයි කියන්නෙ.

අපේ කතාවේ කතානායකයා තමයි තෝබිත්. එයා බොහෝම දැහැමි කෙනෙක්. ඒ වගේම අසල්වාසීන් සමඟ බොහොම සුහදව හිටපු දුප්පතුන්ට උදව් කරපු කෙනෙක්. ඒත් දවසක් ඉතාමත් අවාසනාවන්ත විදිහට තෝබිත්ගෙ ඇස් දෙක අන්ධ වෙනවා. ඒත් එක්කම තෝබිත්ගේ සැප සම්පත් ටිකෙන් ටික දියවෙලා යන පටන්ගන්නවා.

අන්තිමේදී තමුන්ගෙ මරණය ළඟ බව තේරුම් යන තෝබිත්, තමුන්ගෙ පුතා වෙච්චි තෝබියස්ව කැඳවලා ඊට අවුරුදු ගණනකට කලින් මිදියාවේ වාසය කරන ගබයෙල් ගාව පරිස්සමට තැබූ රිදී කාසි ගැන කියනවා. ඒ වගේ මඟපෙන්වන්නෙකු සමඟ ගොස් ඒවා නැවත ගෙන එන්නටත් උපදෙස් දෙනවා.

තමුන්ට මඟපෙන්වන්නෙකු සොයායන තෝබියස්ට මුණ ගැහෙන්නෙ දෙවියන් වහන්සේ විසින්ම එවාපු රපියෙල් දේව දූතයාව. ඔහු දේවදූතයෙකු බව නොදැන ඔහුගේ මඟපෙන්වීම ඔස්සේ තෝබියස් ගමන ගිය හැටි තමයි මම කිය කිය හිටියෙ.

මේ ලින්කු වලින් ගිහින් කියවලා එනවානම් කතාව හොඳින් තේරුම් යයි.

 
ඔන්න අද කතාව.

රැය පුරා නිදි වරමින් සිටියත් නින්ද රගුවෙල් අසලට ළඟා වුනේ නෑ. ඒ තරමටම හිතේ සතුට පිරිලා. ඒත් එක්කම  පහුගිය කාලෙ පුරාවට ඔහු ලබපු අත්දැකීම් එකින් එක මතකයට එන්න පටන් ගත්තා. සාරාට මනමාලයන් සොයාදෙන්න තමුන් උත්සාහ කළ හැටි, ඔවුන්ව ඉතා සතුටින් විවාහ කරදුන් හැටි වගේම විවාහයට පසුදා නිවසම මළගමක් වූ හැටි ඔහුට මතක් උනා. අසල්වාසින්ගෙන් තමනුත් දුවත් ලැබූ නින්දා අපහාස කොහොම අමතක කරන්නද? තම දුව තමුන්ගේ සේවිකාවන්ගෙන්ම කොච්චර නින්දා අපහාස ලබන්න ඇතිද? දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ. දැන් ඒ සියල්ල අතීතයට එකතු වී හමාරයි. දැන් පැමිණ ඇත්තේ සතුටින් ගත කළ යුතු කාලයයි. සතුටින් ඔව් ඉතාම සතුටින්.

උදෑසන හිරු එළිය පොළව සිපගන්නා යාමයේදීත් ඇඳේ ඒ මේ අත පෙරළෙමින් රගුවෙල් උත්සාහ කලේ මඳ නින්දක් හෝ ලබාගැනීමටයි. ඒත් නින්ද ඔහු අසලටවත් ආවේ නෑ. ඔහු වෙලාගෙන තිබූ සතුට නින්දට ඔහු වෙලා ගැනීමට ඉඩ දුන්නේ නෑ. ඒ ගැන කෝප නොවූ රගුවෙල් තම නාන කාමරයට වැදුනා. සේවකයින් ඒ වනවිටත් තම හාම්පුතා වෙනුවෙන් සූදානම් කර තිබූ ජලයෙන් ඔහු තවත් ප්‍රබෝධමත් උනා.

අගනා සළුවක් ඇඳගත් ඔහු පැමිණුනේ කෑම මේසය වෙත. නව යුවලගේ සිනා හඬින් මුළු ගෙයම පිරිලා වගෙයි. නව යුවලත් නෑදෑ හිත මිත්‍රාදිනුත් බොහෝම සතුටෙන් උදෑසන ආහාරය ගන්නා හැටි රගුවෙල් දුටුවා. මනාල යුවල දුටු ඔහුගේ ප්‍රීතිය ඉහවහා ගියා.

"තෝබියස් මගේ පුතා. මගේ දුක් කරදර නැතිකළ පුතා. මගේ දුවගේ දුක් කරදර නැතිකර ඇයව සතුටු කිරීම ගැන මට හරිම සතුටුයි පුතා. අපි ඇති වෙනකන් සන්තෝස වෙමු. " රගුවෙල් තම බෑණාව වැළඳ ගත්තා.

"සති දෙකක් යන්න කලින් ඔබ මෙහෙන් යනවට මම කැමති නෑ. දුක් කරදර ගොඩකින් පස්සෙ හම්බෙච්ච මේ ප්‍රීතිමත් මොහොතේ ඒ සේරම කරදර වලට හරියන්න සන්තෝස වෙන්න ඕනා. මාත් එක්ක සති දෙකක් ඉන්න. අපි ඒ සති දෙක පුරාම මඟුල් කමු. ජීවිතේට ඇතිවෙන්නම විනෝද වෙමු."

හිතේ සතුටට රගුවෙල් කියවාගෙන ගියා. තෝබියස්ටත් හරිම සතුටුයි. ඒත් සති දෙකක මංගලෝත්සවය ගැන නම් ඔහුට තිබුනේ මිශ්‍ර හැඟීමක්. 'දවස් දෙකක ගමනක් ආපු අපි සති දෙකක් නැති උනාම අම්මලා මොනවා හිතයිද?' ඔහුට හිතුනා. ඒත් රගුවෙල්ගේ සතුට ඉදිරියේ ඔහු අසරණ උනා. ඒ වචන අහකදාලා දමලා ගහලා දුවවත් අරගෙන යන්න තෝබියස්ට හිතුනේ නෑ. ඔහු තීරණයක් ගත නොහැකිව, පිළිතුරක් දීගත නොහැකිව බලා හිටියා. ඒ ඇසිල්ලේ ඔහුගේ දෙනෙතට අහුවෙන්නෙ මඟපෙන්වන්නාව.

"අහා.. අසරියස්. මගේ මිත්‍රයා. "

"කොහොමද තෝබියස්?"


"සියල්ල හොඳින් මිත්‍රයා. සියල්ල හොඳින්."

"අපි එහෙනම් උදේ කෑම ගමු නේද?" සියල්ලෝම සතුටින් ආහාර අනුභවය පටන් ගත්තා.

ආහාරයෙන් පසු තෝබියස් තම මඟපෙන්වන්නා සමඟ මොහොතක් තනි උනා. "අසරියස්, මට රගුවෙල්ගේ වචන අහක දාලා සාරාවත් අරන් දැන්ම පිටවෙන්නත් බෑ. ඒත්  තාත්තාත් අපි එනතුරු පාර බලාගෙන ඇති"

"අසරියස්, සේවකයො හතරදෙනෙකුයි ඔටුවො දෙන්නෙකුයි අරන් ගබයෙල්ගෙ ගෙදරට යන්න. මම කුවිතාන්සිය දෙන්නම්. රිදී ටික අරගෙන එන්න. මංගල්ලෙට ගබයෙල්වත් එක්කගෙන එන්න. එතකොට අපිට ඒ ගමනට යන කාලෙ ඉතිරි කරගන්න පුළුවන්"
 
තෝබියස්ගේ නියමයෙන් රපියෙල් රාගේස් කරා පිටත් උනා. නියමිත පරිදි රිදී ගෝනිත් සමඟ ගබයෙලුත් විවාහ මංගල්‍යයට පැමිණියා. රගුවෙල්ගේ අදහසට අනුව පුරා දින දාහතරක් විවාහ මංගල්‍යය පැවැත්වුනා.

මේ අතර එක්තරා මහළු කාන්තාවක් නිනීවේ නගර දොරටුව අසල හඬමින් දවස ගතකිරීම එනුවර වැසියන්ට සුලබ දර්ශනයක් උනා.

ඊට පස්සෙ..

6 comments:

  1. මෙන්න මූත් ඇහැරලා.. :-D

    මල කෙලියයි.. තෝබිත් කවුද කියලා මතක් කොරලා බැලුවා.. ම්හු! මතක් වෙන්නෙම නෑ.. ඔය හරීගෙ ගෙවල් අහල පහල මනුස්සයෙක් වෙන්ටැති..

    ReplyDelete
    Replies
    1. :D
      ඔව් ඔව්. අපේ අල්ලපු ගෙදර මනුස්සයා.. :P

      Delete
  2. හප්පෝ.........................බ්ලොග් වසන්තයේ තවත් එක්කෙනෙක් ඇහැරිලා යන්තම්. තෝබිත් නෙවෙයි තෝ බිත්තියකට තියලා දෙකක් අනිනවා දිගටම ලිව්වේ නැත්නම්.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ..

      මම අන්තිමට තෝබිත්ගේ කතාව ලියලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු වල..

      Delete
  3. වසන්තයේදී ඇහැරිලා..... තොබියස්ගේ තෝම්බුව හොයන්න අනිත් කතා ටිකත් කියවන්න වෙයි.....! බලමු ඉඩ තියෙන විදිහට.....!

    ReplyDelete
    Replies
    1. :) ඉක්මණින් කියවලා දැම්මෑකි වැඩියෙ දිග නෑ.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...